සාමාන්‍යයෙන් යම් කොටස් හිමියෙකුගේ ආයෝජන කළඹෙහි වටිනාකම තීරණය කරනු ලබන්නේ ඔහුට අයත් කොටස් ප්‍රමාණය අදාළ දිනය අවසානයේ දී දැක්වෙන කොටස් මිල ගණන් හා සැසඳීමෙනි. සාමාන්‍යෙයන් යම් දිනයක් අවසානයේ දී යම් සමාගමක කොටස් මිල ගණනය කිරීමට නම් අවම වශයෙන් අදාළ සමාගමේ කොටස් 100 ක් වත් ගනුදෙනු විය යුතුව තිබිණ. එහෙත් එම නියමය පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට අහෝසි කර දැමීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැඩි කැක්කුමක් ඇති දූරදර්ශී පරිපාලකයෝ තීරණය කළහ. මේ අනුව යම් සමාගමක කොටසක, අවසාන ගනුදෙනු මිල සැකසීමේ දී, අදාළ දිනය තුළ එක කොටසක් වුවත් ගනුදෙනු වී තිබීම ප්‍රමාණවත් වේ.
එහෙත් මෙම තත්ත්වය, කෘතිම ලෙස සමාගම් මිල කොටස් ඉහළ පහළ දැමීම සඳහා රුකුල් දීමක් යැයි කිවහොත් නිවැරදිය. එය වන්නේ කෙසේදැයි නිදසුනක් ආධාරයෙන් මෙසේ පැහැදිලි කළ හැකිය.
අද දිනය තුළ දී විශාල වශයෙන් කොටස් මිල පහළ ගිය සමාගම් අතුරින් මුල් තැන ගත්තේ සෙරෙන්ඩිබ් ලෑන්ඩ් සමාගමයි. සාමාන්‍යෙයන් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වීම අතින් අඩු ද්‍රවශීලතාවයක් පෙන්නුම් කරන මෙම සමාගමේ කොටස්, නිරන්තරයෙන් ගනුදෙනු වන ඒවා නොවේ. අවසන් වරට මෙම සමාගමේ කොටසක් ගනුදෙනු වී තිබුණේ රු. 2500 කටය. එදින අවසාන මිල වශයෙන් එම මිල ගණන් ගැනීමට නම් අවම වශයෙන් සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගමේ කොටස් 100 ක් වත් එදින ගනුදෙනු වී තිබිය යුතුය. ඒ සඳහා අදාළ යම් ආයෝජකයාට අවම වශයෙන් කොටසකට රු. 2500 බැගින් කොටස් 100 ක් සඳහා රු. 250,000 ක පිරිවැයක් දැරීමට සිදුවිය යුතුය. (මෙහිදී ගණනය කිරීමේ පහසුව තකා ඔහු විසින් දැරිය යුතු කොටස් තැරැව්කාර ගාස්තු, බදු යනාදිය නොසලකා හැර ඇති බව සලකන්න).
එහෙත් අද දිනයේ දී සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගමේ කොටසක මිල රු. 1,250 දක්වා පහළ වැටුණි. එනම් පෙර මිලට සාපේක්ෂව හරියටම 50% කි. මේ අනුව අප පෙර සඳහන් කළ ආයෝජකයාගේ, අදාළ ආයෝජනයෙහි වටිනාකම රු. 125,000 දක්වා හරි අඩකින් පහළ වැටී තිබේ. එහෙත් අද දිනය තුළ ගනුදෙනු වී තිබුණේ සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගමේ එකම එක කොටසක් පමණි. ඒ තුළින් අද දිනයේ දී රු. මිලියන 616 ක්වූ කොටස් වෙළෙඳපොළ සමස්ත පිරිවැටුම සඳහා දී තිබූ දායකත්වය රු. 1,250 කි. සාපේක්ෂව ගත් කළ ඉන් කොටස් වෙළෙඳපොළට සිදුවූ බලපෑම 0.0002 % කි. එහෙත් ඒ නිසා ආයෝකයෙකුගේ සමස්ත ආයෝජන වටිනාකම හරි අඩකින් පහළ බැස ඇත.
මෙය ආරම්භයක් පමණි. කොටස් වෙළෙඳපොළ බලධාරීන් ගේ මෙකී ඔලමොට්ටල තීරණ නිසා නුදුරේ දී තවතවත් ආයෝජකයින් ප්‍රපාතයට තල්ලු වීමේ අවදානමකට ලක්ව සිටී. විශේෂයෙන් ගනුදෙනු වීමේ ද්‍රවශීලතාවයෙන් අඩු සමාගම් කොටස්වල ආයෝජනය කළ ආයෝජකයින් මේ නිසා දැඩි අසීරුතාවයකට පත්වනු ඇත.
|