Lanka Business News | HOME |
 
 

ශ‍්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ නව සභාපතිවරයා ලෙසින් ගණක අමරසිංහ මහතා පත්වීම් ලබයි
02-April-2012
Bookmark and Share

ශ‍්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ගණක අමරසිංහ මහතා පත්ව සිටී.

ආයතනයේ සත්වන සභාපතිවරයා වන ඒ මහතා 1988 වර්ෂයේදී ආරම්භක සාමාජිකයෙකු ලෙස ඇතුළත් වූ අතර ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ‍්‍රී ලංකා කළමණාකරණ ගණකාධිකාරී ආයතනයේ ද ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ උපාධි ධරයෙකු වන ගණක අමරසිංහ මහතා අවුරුදු 25 ක ට අධික කාලයක් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ගණකාධිකරණ සහ මූල්‍ය ක්‍ෂේත‍්‍රයන්හි සේවය කර ඇති අතර ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක්ම හොබවා ඇත. දැනට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ දේශීය සමාගමක් වන රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමණාකරණ අධ්‍යක්‍ෂවරයා වන අතර තවත් සමාගම් කිහිපයකම අධ්‍යක්‍ෂ ධූර හොබවයි.

වෘත්තිය හා ව්‍යාපාර කටයුතුවලට බාහිරව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේද මහඟු කාර්යභාරයක් ඉටුකරමින් කලක් රුහුණු විශ්ව විද්‍යාලයේ සහ ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු 1990 වර්ෂයේ සිට මේ දක්වාම ගණකාධිකරණ හා වෙනත් උසස් විභාග සඳහා බදුකරණය සඳහා දේශකවරයෙකු ලෙස සිසුන් දහස් ගණනකට මාර්ගෝපදේශකත්වය ලබාදී ඇත.

වර්ෂ 2006 - 2009 කාලය තුළදී ශ‍්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේද 2008 - 2011 කාලය තුළ ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේද පාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් එම ආයතනවල ප‍්‍රගමනය සඳහා පෘථුල දායකත්වයක් ලබාදී ඇත. මීට අමතරව සංචාරක කර්මාන්තය සඳහා වන ජනාධිපති සම්මාන විනිශ්චය මණ්ඩලයේ සහ ජාතික අපනයන සම්මාන විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද වර්ෂ කීපයක්ම කටයුතු කර ඇත.

මාතර පාතේගම උතුර කණිෂ්ට විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ඇරඹූ ඔහු කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ හා කොළඹ ලූම්බිණි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>