Lanka Business News | HOME |
 
 

පිරිවැටුම පහළ වැටීමෙන් කොටස් තැරැව්කරුවන් අසීරුතාවයක
02-July-2012
Bookmark and Share

දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ සමාගම්වල කොටස් මිල ගණන් පහළ වැටීමත්, ඊට අනුරූපව කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම ද ක්‍රමක්‍රමයෙන් පහත බැසීම නිසා, කොටස් වෙළෙඳපොළ කොටස් තැරැව්කාර සමාගම් මේ වන විට බලවත් අසීරුතාවයකට පත්ව සිටී.

මෑත කාලයේ දී වාර්තා වුණු අවම දෛනික පිරිවැටුම අද දිනයේ දී වාර්තා වුණු අතර එය රුපියල් මිලියන 91 ක් විය. මේ වන විට කොටස් වෙළෙඳපොළ අතරමැදියන් වශයෙන් ක්‍රියාත්මක කොටස් තැරැව්කාර සමාගම් ගණන 29 කි. ඉන් එක් සමාගමක් පමණක් ණය සුරැකුම්පත් ගනුදෙනු සඳහා ක්‍රියාත්මක වන අතර සෙසු සමාගම් 28 ම හිමිකම් සුරැකුම් ගනුදෙනු හි නියැලේ. මේ අනුව දෛනික පිරිවැටුම පහළ වැටීම, හිමිකම් සුරැකුම් ගනුදෙනුකරණයේ යෙදෙන සියලු සමාගම්වලට අහිතකර ලෙස බලපානු ඇත.

2009/10 වසරවල දී ලෝකයේ වර්ධනය වෙමින් පැවති කොටස් වෙළෙඳපොළ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ මුල්තැන ගත් අතර එම අවධියේ දී කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම සාමාන්‍ය වශයෙන් රුපියල් බිලයනය ඉක්මවීය. මෙම තත්ත්වය තුළ සිය දෛනික ආයතනික පිරිවැටුම ද ඉහළ නංවා ගැනීමට කොටස් තැරැව්කාර සමාගම් පියවර ගත් අතර ශාඛ ජාල ව්‍යාප්ත කිරීම්, ආයෝජන උපදේශකයින්ගේ ප්‍රමාණය ඉහළ නැංවීම් වැනි දෑ වෙනුවෙන් ඔවුන් වැඩි වශයෙන් සිය අවධානය යොමු කළෝය. එහෙත් දෛනික පිරිවැටුම පහත වැටීම නිසා දෛනික කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආදායම ද පහළ වැටීම නිසා කොටස් තැරැව්කරණ සමාගම් පෙර කී අසීරුතාවයට පත්ව තිබේ.

කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම පහළ වැටීම බලපානුයේ කොටස් තැරැව්කරුවන්ට පමණක් නොවේ. එම තත්ත්වය තුළ සුරැකුම්පත් හා විනිමය කොම්සම, කොළඹ කොටස් වෙළෙඳපොළ, මධ්‍යම තැන්පතු ක්‍රමය යන ආයතනවලට ලැබෙන ආදායමේ මෙන්ම රජයට ලැබෙන සෙස් බදුවල ද පහළ යාමක් සිදුවේ. එබැවින් කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම පහල වැටීම යනු සමස්ත ආර්ථිකයටම ඇතිවන අහිතකර බලපෑමකි.


 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>