සදාහරිත විශිෂ්ටයෝ සම්මාන ලබති Featured

Published in ජයග්‍රහණ

‘ක්ෂිතිජයට එහා’ (Beyond the Horizon) යන තේමාව යටතේ විචිත්‍රවත් අයුරින් මෙවර පැවැති වාර්ෂික සදාහරිත සම්මාන ප්‍රදානෝත්සවයේදී ඉහල කාර්ය සාධනයක් පෙන්නුම් කළ සදාහරිත අලෙවි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සම්මාන බුහුමන් ප්‍රදානය කිරීම සිදුවිය. ඉතා කෙටි කාලසීමාවක් තුළ මෙරට වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව සිටින සදාහරිත සමාගමේ 15 වැනි සංවත්සරය ද මෙවර යෙදී තිබීම තවත් කැපීපෙනෙන සිදුවීමක් විය.
මෙවර ඇගැයුම් ලැබුවේ 2016 වර්ෂයේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ ජයග්‍රාහකයින් ය. රට පුරා විසිර පවතින ශාඛා 31ට අයත් 700කට වැඩි සදාහරිත පවුලේ සාමාජිකයන්ගේ අත්පොළොසන් හඬ මධ්‍යයේ තමන්ට හිමි සම්මාන ඔවුන් ලබාගත් මේ සුවිශේෂී වැඩසටහන පැවැත්වුණේ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දීය.

මෙහිදී අදහස් දක්වමින් සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා සමාගම් සමූහයේ අනාගත සැලසුම් මෙසේ හෙළිකළේය. “අපි මේ වනවිට වාණිජ වන වගා ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරමින් විශේෂයෙන්ම අපගේ ව්‍යාපාර වපසරිය විශාල කරගැනීමේ අරමුණින් පර්යේෂණ හා සංවර්ධන අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මේ හරහා අපේ රටේ වන ආවරණය දියුණු කරන්නත් ලොකු දායකත්වයක් ලැබෙනවා. එතුළින් අපේ පරිසරය ආරක්ෂා කරගැනීමටත්, වඩා හරිත වූ හා සාරවත් වූ වටපිටාවක් ගොඩනඟා ගැනීමටත් අවකාශ සැලසෙනවා. ඒ දේ සිදුවන්නේ අපගේ පාරිභෝගික හිතවතුන්ට ඉහළ තේරීමක් සහිත මූල්‍ය ආයෝජනයක් ලෙස වාණිජ වන වගාව හඳුන්වාදෙන අතරතුර වීම විශේෂත්වයක්”.

“අගාවුඩ් කියන්නේ මේ වනවිට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින වාණිජ වන වගා බෝගයක්. විශේෂයෙන්ම අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ අගාවුඩ් සඳහා තිබෙන ඉහළ ඉල්ලුම නිසා නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන ඉක්මවූ විදේශ විනිමය ප්‍රමාණයක් අගාවුඩ් හරහා ජනිත වීමට ඉඩ තිබෙනවා. සුවඳ විලවුන් සඳහා කාන්තා පිරිමි වගේම වයස් භේදයකින් තොරවත් ලෝක මට්ටමින් ඉහළ නැඹුරුවක් පවතින නිසා අගාවුඩ් සතුව විශාල අපනයන විභවතාවක් දකින්න පුළුවන්” නවරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

සදාහරිත සමාගම වාර්ෂිකව සංවිධානය කරන වැදගත්ම උත්සවයක් වන මෙම සම්මාන උළෙලේදී විවිධ අංශ ඔස්සේ සදාහරිත ප්ලාන්ටේෂන්හි අභිප්‍රායවන වාණිජ වන වගා ක්ෂේත්‍රය සඳහා කාර්යශූර හා වෘත්තීමය එළඹුමක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩල සාමාජිකයෝ සම්මාන හිමිකරගත්හ.

මේ අතර පාරිභෝගික පහසුව වෙනුවෙන් ජංගම කාර්යාලයක් ලෙස ක්‍රියාකරන ප්‍රචාරක රථයක් ද මෑතකදී හඳුන්වා දීමට සදාහරිත ප්ලාන්ටේෂන් සමාගම පියවර ගත්තේය. ඇතැම්විට වාණිජ වන වගා ප්‍රචාරණයට ශ්‍රී ලංකාවේ මෙවැනි රථයක් භාවිතා කෙරෙන පළමු අවස්ථාව මෙය විය හැකි අතර එහි අරමුණ වන්නේ ද වාණිජ වන වගාව ආයෝජන මාර්ගයක් ලෙස ප්‍රචලිත කිරීම ය.  සදාහරිත සමාගම සතුව මේ වනවිට අක්කර 2000කට වැඩි වාණිජ වන වගාවක් පවතින අතර ඒ තුළ ආයෝජනය කළ 26,000කට වැඩි පාරිභෝගික ජාලයක් ද සමාගම සතුය.