AvidCor වෙතින් දැරිය හැකි මිලකට හෘද රෝග නිරීක්ෂණ පහසුකම් දැන් ශී‍්‍ර ලංකාවේ... Featured

Published in සුවසේවා

සෞඛ්‍ය තාක්ෂණ සමාගමක් වන AvidCor වෙතින් දැරිය හැකි මිලකට ජංගම හෘද සෞඛ්‍ය නිරීක්ෂණ උපාංගයක් පසුගියදා මෙරට සෞඛ්‍ය සේවා ප‍්‍රවීණයින්ට හා වෘත්තිකයින්ට හඳුන්වා දෙනු ලැබිණ. ඒ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැති ප‍්‍රථම වාර්ෂික AvidCor හෘද සෞඛ්‍ය සමුළුව අතරතුරදී ය. එම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ ශී‍්‍ර ලංකා හෘද සංගමයේ හිටපු සභාපති වෛද්‍ය රොහාන් ගුණවර්ධන මහතා ය.

ඉන්දියාවේ හා ශී‍්‍ර ලංකාවේ කලාපීය කාර්යාල පිහිටුවා ඇති AvidCor සමාගම, හෘද කම්පන රිද්මය, ඊසීජී, රුධිරයේ ඔක්සිජන් සංතෘප්තබව හා උෂ්ණත්ව නිරීක්ෂණය වැනි භාවිතාවන් රැසක් සඳහා භාවිත කළ හැකි මිලාධික නොවන, අති නවීන තාක්ෂණය රැගත් (bleeding-edge) , පරිහරණය ඉතා පහසු, ජංගම හා පැළඳිය හැකි උපාංග රැසක් නිෂ්පාදනය කරන සමාගමක් ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටී.

ශී‍්‍ර ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල හෘදය ආශි‍්‍රත සෞඛ්‍ය නිරීක්ෂණ සඳහා අවශ්‍ය කරන දැරිය හැකි මිලක් සහිත හා සංයුක්ත උපකරණයක අවශ්‍යතාව මෙමගින් සම්පූර්ණ වේ.

බ්ලූටූත් හා සම්බන්ධ වන මෙම ස්මාට් උපාංගය, හෘද වේගය, ඊසීජී, රුධිර ඔක්සිජන් සංතෘප්තතාව හා සමේ උණුසුම මැන බලයි. එය ස්වයංකී‍්‍රයව හා ඉතාමත් පහසුවෙන් පරිහරණය කිරීමට පුළුවන. ඇපල් හා ඇන්ඩ්‍රොයිඞ් දුරකථන භාවිතා කරන්නන්ට අදාළ ඇප්ස් ගබඩාව තුළින් AvidCor ඇප් එක download කිරීමටත් ඒ හා ලියාපදිංචි වී පහසුවෙන් උපකරණය භාවිත කිරීමටත් අවකාශ සැලසේ. ලබාගන්නා දත්ත රෝගීන් හා භාරකරුවන් වෙත විශ්ලේෂණය කරන ලද දත්ත ලබාදීම සිදුවන්නේ ක්ලවුඞ් තාක්ෂණය පදනම් කරගෙන විද්‍යුත් වෛද්‍ය වාර්තාවක් ලෙසිනි.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් මෑතදී මෙහෙයවූ පර්යේෂණ අධ්‍යයනයකින් පෙනී ගියේ දැනට පේටන්ට් බලපත‍්‍ර අපේක්ෂාවෙන් සිටින AvidCor හෘද තාක්ෂණය ශී‍්‍ර ලංකාවේ, ඉන්දියාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ භාවිතා කෙරෙන රෝහල් පදනම් කරගත් මිලාධික හෘද නිරීක්ෂණ උපාංගවලට සෑම අතින්ම සමාන බව ය.

මුලදී සෞඛ්‍ය සේවා වෘත්තීකයින්ට මෙම උපාංගය හඳුන්වා දීමෙන් පසු ටික කලෙකදී එය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට සමාගම අදහස් කර ඇත. මෙහි අවම මිල තත්ත්වය විශේෂයෙන් දකුණු ආසියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල හෘද සෞඛ්‍ය නිරීක්ෂණ කටයුතු වර්ධනය කිරීමට හේතු වනු ඇතැයි ද අපේක්ෂිත ය.

ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන්හි සුප‍්‍රකට හෘද රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය බොබ් ෆ‍්‍රෑන්ක් AvidCor හි ප‍්‍රධාන විධායක නිලධාරියා වේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය කිත්සිරි ගුණවර්ධන මහතා සහ ආචාර්ය වසන්ති සුබසිංහ මහත්මිය ද සමාගමේ උපදේශක මණ්ඩල සාමාජිකයෝ වෙති.

www.avidcor.com වෙබ් අඩවිය හා ලියාපදිංචි වී සමාලෝචන කියැවීමටත් වෛද්‍යවරුන් හා සම්බන්ධ වීමටත් අවස්ථාව තිබේ. AvidCor ශ‍්‍රී ලංකා කාර්යාලයේ දුරකථන ක්ෂණික යොමු අංකය 071 552 9594 වේ.