IIT ආයතනය සංවිධානය කළ Big Data Analytics Tech Forum 2016 සමුළුව අති සාර්ථක ලෙස නිමාව දකී

Published in තොරතුරු තාක්ෂණ

2016 දෙසැම්බර් 16, කොළඹ: Big Data සංකල්පය සහ Big Data විශ්ලේෂණය කිරීම මත පදනම්ව ව්‍යාපාරික තීරණ ගැනීම යනු වර්තමාන ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත තරගකාරීත්වය තුළ ඉදිරියට යාම සඳහා බෙහෙවින් උපකාරී වන සාධකයකි. මේ සම්බන්ධ කරුණු තවදුරටත් සාකච්ඡුා කිරීම සඳහා වේදිකාවක් සැපයීමේ අරමුණ ඇතිව Informatics Institute of Technology (IIT ආයතනය) සංවිධානය කළ Big Data Analytics Tech Forum 2016 සමුළුව පසුගියදා අති සාර්ථක ලෙස පැවැත්විණි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ සාමාජික සාමාජිකාවෝ රාශියක් මෙම අවස්ථාවට සහභාගී වූහ. රොබර්ට් ගෝර්ඞ්න් විශ්ව විද්‍යාලයේ බුද්ධි පද්ධති පර්යේෂණ මහාචාර්ය නිර්මලී වීරතුංග මහත්මිය සහ එම විශ්ව විද්‍යාලයේ Smart Data Technologies Centre හි මහාචාර්ය ජෝන් මැකෝල් මහතා මෙම සමුළුවේ ආරාධිත දේශන පැවැත්වූහ.

'Data Driven Recommender Systems' යන මාතෘකාව යටතේ මහාචාර්ය නිර්මලී වීරතුංග සිය දේශනය පැවැත්වූ අතර මහාචාර්ය ජෝන් මැකෝල් 'Data Driven Optimization' යන මාතෘකාව යටතේ සිය දේශනය පැවත්වී ය. ශ‍්‍රී ලාංකිකයන්ට Big Data සංකල්පය සහ එහි භාවිතාවන් සම්බන්ධ අවබෝධයක් ලබාදීම සඳහා IIT ආයතනය සංවිධානය කළ දෙවැනි සමුළුව මෙයයි.

”දත්ත භාවිතා කිරීමෙන් තමන්ට ලැබිය හැකි ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් ලොව පුරා සමාගම් හා ආයතන මේ වනවිට වටහාගනිමින් සිටිනවා. දත්ත සම්බන්ධ පුහුණුව ලත් වෘත්තිකයන් සඳහා ලොව පුරා ඇත්තේ විශාල ඉල්ලූමක්. ශ‍්‍රී ලංකාවේ සමාගම්වලටත් නව ලොව තරගකාරීත්වයට මුහුණ දීමට නම් ලොව නවීන තාක්ෂණ ප‍්‍රවණතා සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. මෙසේ රටේ ව්‍යාපාර ක්ෂේත‍්‍රය දැනුවත් කිරීම සහ Big Data සම්බන්ධ වෘත්තිකයන් බිහිකිරීම අරමුණු කරගෙන IIT ආයතනය එක්සත් රාජධානියේ රොබර්ට් ගෝර්ඞ්න් විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලබන MSc Big Data Analytics පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව මෙරට සිසුන්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.” IITආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නන්ගර මහතා පැවසී ය.

‘‘IIT යනු ජාත්‍යන්තර තලයේ ප‍්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා මෙරටට හඳුන්වා දෙන පුරෝගාමී ආයතනයක්. ආරම්භයේ පටන්ම අප නිසි වෘත්තීය දැනුමෙන් පරිපූර්ණ උපාධිධාරීන් බිහිකිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වනවිට තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙන්ම විශාල ඉල්ලූමක් පවතිනවා. මෙම ඉල්ලූමට ගැළපෙන කුසලතා වලින් පිරිපුන් වෘත්තිකයන් බිහිකිරීම අපගේ ඉලක්කයයි.” ආචාර්ය කන්නන්ගර මහතා වැඩිදුරටත් පැවසී ය.

Big Data යනු කුමක්ද? එය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

Big Data යනු දත්ත අතිවිශාල ප‍්‍රමාණයක් ලබාගෙන විශ්ලේෂණයට ලක්කොට, ඒවා අතරින් අදාළ දත්ත පමණක් තෝරාගෙන එම දත්ත තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය සඳහා උපයෝගී කරගැනීම බව මහාචාර්ය ජෝන් මැකෝල් පැවසී ය.

”ඔබ සතුව ඉතා සංකීර්ණ දත්ත රාශියක් ඇති විට ඔබ ඉතා ඉක්මනින් තීරණ ගත යුතු වෙනවා. මේ අතරින් ඔබට වඩාත්ම ගැළපෙන දත්ත තෝරාදීමේ හැකියාව තොරතුරු පද්ධතිවලට තිබිය යුතුයි. Big Data සංකල්පය නිසා තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය සරල වනවා. නමුත් ඊසට ෘ්ඒ භාවිතයෙන් තීරණ ගැනීමක් සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට Big Data මගින් කෙනෙකුට තීරණ ගැනීම සඳහා හොඳ මාවතක් ලැබෙනවා.” මහාචාර්ය මැකෝල් වැඩිදුරටත් පැවසී ය.

මහාචාර්ය නිර්මලී වීරතුංග පෙන්වා දුන්නේ Big Data අධ්‍යයන කිරීම මගින් කිසියම් රාජකාරියක් අඩු සම්පත් ප‍්‍රමාණයක් වැයකරමින් වඩාත් ලාභදායී සහ ඵලදායී ලෙස සිදුකිරීමට හැකිවන බවයි.

”විශේෂයෙන් සමාජ මාධ්‍ය බෙහෙවින් ජනප‍්‍රිය වීම නිසා අද ලෝකයේ විශාල දත්ත ප‍්‍රමාණයක් සංසරණය වනවා. Big Data අධ්‍යයනය කිරීම මගින් අපට මෙම දත්ත සමීපව විශ්ලේෂණය කරමින් ඒවා විවිධ ක්ෂේත‍්‍ර සඳහා ඵලදායී ලෙස භාවිතා කිරීමේ ක‍්‍රම හඳුනා ගැනීමට පුළුවන්.” මහාචාර්ය වීරතුංග පැහැදිලි කළා ය.

”දත්ත තේරීමට ලක්කර තම පාරිභෝගිකයන්ට වඩාත් සුදුසු දැන්වීම් ආදිය දැකගැනීමට සැලැස්වීම මගින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ඇමසෝන් වැනි සමාගම්වලට සහ ෆෙස්බුක් වැනි වෙබ් අඩවිවලට බොහෝ ප‍්‍රයෝජන ලැබීමට හැකි වනවා. මෙය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයටත් අදාළයි. මේ ඔස්සේ ඔවුන්ට ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් ලබාදීමට හැකියාව ලැබෙනවා. Big Data යනු දත්ත කළමනාකරණය කිරීම සඳහා ඇති ඉක්මන් සහ ලාභදායී මගක්. ඒ වගේම නිවැරදි තොරතුරු සහ වඩාත් විශිෂ්ට ක‍්‍රියාකාරීත්වයක් ඔස්සේ සමාගම් හා ආයතනවලට දියුණුවට මග විවර කරදීමට ඒවාට හැකියාව තිබෙනවා. එමෙන්ම පුරෝකථන ක‍්‍රමවේද ඔස්සේ මෙම පද්ධති පුනර්ජනනීය තාක්ෂණය, පරමාණුක බලශක්ති ක්ෂේත‍්‍රය සහ විදුලි සංදේශ සේවා ආදී ක්ෂේත‍්‍ර සඳහා මෙන්ම අනෙකුත් බොහෝ ක්ෂේත‍්‍රවලට අයත් සමාගම් හා ආයතනවල මෙහෙයුම් කටයුතු වලට අදාළ සේවක අනූයුක්ත කිරීම් සහ සම්පත් අනූයුක්ත කිරීම්වලට පවා යොදාගත හැකියි.” මහාචාර්ය වීරතුංග වැඩිදුරටත් පැවසී ය.

IIT ආයතනය මගින් පමණක් මෙරට සිසු සිසුවියන්ට හැදෑරිය හැකි රොබර්ට් ගෝර්ඞ්න් විශ්ව විද්‍යාලයේ MSc Big Data Analytics පාඨමාලාවේ අරමුණ වන්නේ දත්ත විශ්ලේෂකයන්, දත්ත දෘශ්‍යකරණ විශේෂඥයන්, දත්ත කළමනාකරුවන්, දත්ත ගබඩා සැලසුම්කරුවන්/කළමනාකරුවන්, දත්ත කැණීම් විශේෂඥයන් සහ Big Data විද්‍යාඥයන් නිර්මාණය කිරීම වේ.

2017 ජනවාරි මාසයේදී ආරම්භ වන, එක්සත් රාජධානියේ රොබර්ට් ගෝර්ඞ්න් විශ්ව විද්‍යාලයේ MSc Big Data Analytics පාඨමාලාවේ දෙවන කණ්ඩායම බඳවාගැනීම සඳහා IIT ආයතනය මගින් අයදුම්පත් භාරගැනීම දැන් සිදුකෙරේ. වැඩිදුර විස්තර සඳහා 0112 123456 අංකයෙන් IIT ආයතනය අමතන්න. නැතහොත් එම ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.