‘සිලෝන් මෝටර් ෂෝ 2017‘ ප‍්‍රදර්ශනයට වාර්තාගත නරඹන්න පිරිසක් Featured

Published in රථවාහන

‘සිලෝන් මෝටර් ෂෝ 2017’ ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පෙර නොවූවිරූ තරම් විශාල පිරිසක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවට ඇදී ආ බව එහි සංවිධායකවරු පවසති. මෙම ප‍්‍රදර්ශනයේදී අති-නවීනතම තාක්ෂණයෙන් යුතුව අලූතින්ම වෙළඳපොළට පැමිණෙන වාහන මෙන්ම 20 වන සියවසේ මුල් භාගයේ සිට මෑතක් දක්වා නිෂ්පාදනය වූ පෞරාණික රථවාහන රාශියක්ද දැකබලාගැනීමේ අවස්ථාව නරඹන්නන් හට උදා විය.

ප‍්‍රදර්ශනය නැරඹීමට 23,000 කට අධික පිරිසක් පැමිණි අතර එය පෙර වර්ෂවලදී වාර්තා වූ සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න ය. ලංකා මෝටර් රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය නියෝජනය කරන සමාගම් විසින් ගෙන්වා අලෙවිකරනු ලබන විවිධ සන්නාම වර්ග 60 කට පමණ අයත් රථවාහන මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණි. ලොව ජනප‍්‍රියම සන්නාම යටතේ නිෂ්පාදනය වූ කාර්, ජීප්, බස්, ට‍්‍රක් සහ මෝටර් සයිකල් වැනි රථවාහන වර්ග රැුසක් රිසි සේ දැකබලා ගැනීමට මෙහිදී නරඹන්නන් හට අවස්ථාව ලබාදෙන ලදි.

එමෙන්ම ලංකා පැරණි මෝටර් රථ සංගමය (Classic Car Club of Ceylon) මගින් ඉතාමත් දුර්ලභ මෝටර් රථ මෙන්ම විවිධාකාරයේ පෞරාණික වටිනාකම් සහිත මෝටර් රථ 130 කට අධික සංඛ්‍යාවක් ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබිණි. අබලන් තත්ත්වයේ පවතින වටිනා පැරණි වාහන මුළුමනින්ම අලූත්වැඩියා කිරීම ගැන නරඹන්නන්ට පැහැදිලි අවබෝධයක් ලබාදීම සඳහා 'Restoration Corner' ලෙස කොටසක් වෙන්කිරීමටද පියවර ගෙන තිබීම විශේෂත්වයක් විය.

”නරඹන්නන් බොහෝ පිරිසක් මෙවර ප‍්‍රදර්ශනය ගැන විශාල පැහැදීමකින් කතා කළා. ඔවුන් පැවසුවේ මෙවර ප‍්‍රදර්ශනය සැබවින්ම ජාත්‍යන්තර ප‍්‍රමිතියේ එකක් වූ බවයි. අනාගතයේදී මෙම ප‍්‍රදර්ශනය තවතවත් දියුණු කිරීම සඳහා මෙය අපට ආදර්ශයක් වේවි.” ලංකා මෝටර් රථ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති රීසා රවුෆ් මහතා පැවසී ය.

අලූත්ම Sports Car, SUV සහ Hatchback වර්ගයේ රථවාහන මාදිලි තුනක්ද මෙම ප‍්‍රදර්ශනයේදී නිල වශයෙන් ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දෙන ලදි.

ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය සහ ලංකා පැරණි මෝටර් රථ සංගමය එක්වී සංවිධානය කරන ලද ‘සිලෝන් මෝටර් ෂෝ 2017’ ප‍්‍රදර්ශනයට ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදෙන ලද්දේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් විසිනි. මේ ආකාරයට ක්ෂේත‍්‍රයෙන් ලැබෙන විශාල සහයෝගයක් සමග විශාල ජනතා සහභාගීත්වයක් සමගින් පැවැත්වෙන මෙරට මෙම වර්ගයේ එකම ප‍්‍රදර්ශනය මෙයයි.

‘‘මෙවර ප‍්‍රදර්ශනය අතිශයින්ම සාර්ථකයි. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් අපට විශාල සහයෝගයක් ලැබුණා. මේ සාර්ථකත්වය වෙනුවෙන් අපගේ සාමාජිකයන්, සංවිධායකයන්, අනුග‍්‍රාහකයන් සහ නරඹන්නන් ඇතුළු සියලූ දෙනාටම ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. එළඹෙන වසරේ ප‍්‍රදර්ශනය මීටත් වඩා සාර්ථක ලෙස පැවැත්වීම අපගේ ඉලක්කයයි.” ලංකා පැරණි මෝටර් රථ සංගමයේ සභාපතිනිය වන රමණි පොන්නම්බලම් මහත්මිය පැවසුවා ය.