ටොයොටා ලංකා සමාගම නවතම ටොයොටා කෝස්ටර් බස් රථය හඳුන්වා දෙයි

Published in රථවාහන

2017 මාර්තු 16, කොළඹ: ශ‍්‍රී ලංකාවට ටොයොටා රථවාහන ගෙන්වා අලෙවි කිරීමේ බලය ලත් එකම සමාගම වන ටොයොටා ලංකා සමාගම විසින් පසුගියදා නවතම 'ටොයොටා කෝස්ටර්' බස් රථය මෙරටට හඳුන්වා දෙන ලදී. වත්තල පිහිටි ටොයොටා ප්ලාසා හිදී මෙම රථය හඳුන්වා දීම සිදුවූ අතර එම අවස්ථාවට මෙරට හෝටල්, සංචාරක හා ගමනාගමන ක්ෂේත‍්‍රයන්හි සාමාජිකයන් ඇතුළු පාරිභෝගිකයෝ පිරිසක් මෙන්ම ටොයොටා ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්ද සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂි ඕකා මහතා පැවසුවේ ටොයොටා මාදිලි අතර එකම 'කෝච්' (Coach) වර්ගයේ රථය වන ටොයොටා කෝස්ටර් බස් රථය දිගු කාලයක් තිස්සේ හෝටල්, සංචාරක හා ගමනාගමන ක්ෂේත‍්‍ර තුල සේවා සලසමින් සිටින බවයි. ''ඉතාමත් විශ්වාසනීය ලෙස දශක ගණනාවක් තිස්සේ ප‍්‍රවාහන සේවා සැලසූ රථයක් ලෙස ටොයොටා කෝස්ටර් බස් රථය ලොව පුරා ජනප‍්‍රියයි. මෙය ශ‍්‍රී ලංකාව තුළත් එසේමයි කියා මා විශ්වාස කරනවා. අතීතයේ හඳුන්වා දුන් ටොයොටා කෝස්ටර් මාදිලි පවා ශ‍්‍රී ලංකාවේ මාර්ග වලට හොඳින් ඔරොත්තු දෙමින් තවමත් සේවා ලබාදෙමින් තිබෙනු දැකීම විශාල සතුටක්." ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

නව හඳුන්වා දීමත් සමග ටොයොටා ලංකා සමාගම ප‍්‍රථම වරට මාදිලි දෙකක කෝස්ටර් බස් රථ මෙරටට හඳුන්වා දෙයි. එහි මධ්‍යම ප‍්‍රමාණයේ විශේෂාංග සහිත රථය රු. 7,850,000/- කට මිල නියම කර ඇති අතර ඉහළ විශේෂාංග සහිත රථයේ මිල රු. 8,250,000/- කි. කෝස්ටර් මාදිලි නාමයේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි, එහෙත් සුවිශේෂී නව අලංකරණයන් සහිතව නව කෝස්ටර් බස් රථ වෙළඳපොළට පැමිණේ. රථයේ අභ්‍යන්තරය සැලකිය යුතු වෙනස්කම්වලට ලක්කර ඇති අතර බස් රථය පෙරට වඩා පළලින් හා උසින් වැඩි නිසා ඇතුළත වැඩි ඉඩකඩක් ඇත. ආසනවල සුවපහසුව වැඩිවී තිබීමට අමතරව බාහිර ශබ්ද ඇතුළට පැමිණීම අවම කිරීමට පියවර ගෙන ඇති නිසා මගීන්ට ගමන වඩාත් සුවපහසු වනු ඇත. බස් රථ මාදිලි දෙකෙහිම අර්ධ වශයෙන් ආනති කරවිය හැකි (Semi-reclining) ආසන අනිවාර්ය අංගයක් ලෙස යොදා තිබේ. ඊට අමතරව, ඉහළ විශේෂාංග ප‍්‍රමාණයක් ඇතුළත් කෝස්ටර් බස් රථයේ 'කූල් බොක්ස්' එකක්ද ඇතුළත් වී තිබීම නිසා එය මගීන්ට වැඩි සුවපහසුවක් ගෙනෙනු ඇත.

කෝස්ටර් බස් රථය මෙතරම් ජනප‍්‍රිය වීමට එක් ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ එහි කල්පැවැත්මයි. එහි වක‍්‍රාකාර සැකිලි ව්‍යුහය නිසා බඳට වැඩි ශක්තියක් ලැබී ඇත. බඳ පැනල වැඩි ශක්තියකින් යුතුව සවිකිරීම සඳහා ලේසර් වෙල්ඩින් ක‍්‍රමය භාවිතා කර ඇති අතර මේ සියල්ල රථයේ උසස් තත්ත්වය, කල්පැවැත්ම සහ විශ්වාසනීයත්වය ඉහළ නැංවීමට හේතු වී තිබේ. ස්ථාන තුනකින් සවිවන ආසන පටි (3 point seat belts) සෑම මාදිලියකටම ඇතුළත් වන අතර ඉහළ මාදිලි සඳහා රියදුරු අසුනට එයාර්බෑග් සහ තිරිංග පද්ධතිය සදහා ABS ද යොදා ඇත.

''අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට හොඳින්ම ගැළපෙන බස් රථයක් වගේම මගීන්ගේ ආරක්ෂාව වැඩියෙන් තහවුරු වන බස් රථයක් ලෙස ටොයොටා කෝස්ටර් බස් හඳුන්වා දීමට හැකිවීම අපට විශාල සතුටක්. අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක්ද සමගින් මෙවැනි අනර්ඝ වාහනයක් පාරිභෝගිකයන්ට ලබාදීමේ හැකියාව පවතින්නේ ටොයොටා ලංකා සමාගමට පමණයි." ටොයොටා ලංකා සමාගමේ අධ්‍යක්ෂ හා ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසී ය.

රටේ තත්ත්වයන්ට හොඳින්ම ගැළපෙන ලෙස නිෂ්පාදනය කර ඇති ටොයොටා කෝස්ටර් බස් රථය අවුරුදු 3 ක හෝ කිලෝමීටර 100,000 ක වගකීමක් සහිතව ලබාගත හැක. මෙම රථය මිලදීගැනීම සඳහා උනන්දුවක් දක්වන පාරිභෝගිකයන්ට වත්තල, රත්මලාන, මීගමුව හෝ කුරුණෑගල පිහිටි ටොයොටා ප‍්‍රදර්ශනාගාර වෙත පැමිණ නවතම ටොයොටා කෝස්ටර් බස් රථය දැකබලා ගත හැක. වැඩිදුර විස්තර සඳහා අමතන්න: 0112 939000