කොමර්ෂල් බැංකුව කාන්තාවන් වෙනුවෙන් නව ව්‍යවසායකත්ව වැඩසටහන් මාලාවක් අරඹයි Featured

Published in ජීවන ශෛලීන්

ජාතික ආර්ථිකයට කාන්තාවන්ගේ වැදගත්කම හඳුනා ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක්ම හඳුන්වාදී තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවේ පළමු වැන්න පසුගියදා පැවැත්වීය.

ජාතික ව්‍යවසායත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සමග එක්ව මෙම වැඩසටහන මාතර ප‍්‍රදේශයේ පැවැත්වූ අතර මේ සඳහා දකුණු පළාතේ සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායිකාවන් 100 කට වැඩි දෙනෙකු සහභාගී විය.

මෙම වැඩසටහනේ ප‍්‍රධාන සම්පත් දායකයා බවට පත්වූයේ ප‍්‍රමුඛ දේශකයෙකු මෙන්ම ව්‍යාපාර සංවර්ධන දිරිගන්වන්නෙකු වන චන්දන ගුණවර්ධන මහතායි. ව්‍යාපාර සංවර්ධනය තුළින් සවිබල ගැන්වීම සහ තිරසාරත්වය පිළිබඳව මෙම වැඩසටහනේදී දැනුවත් කෙරුණි.

කොමර්ෂල් බැංකුව විසින් මේ ආකාරයේම වැඩසටහන් පිරිමි සහ කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ බොහෝ පළාත්වල පවත්වන අතර මේ දක්වා බැංකුව විසින් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන සහ ධාරිතාවන් ගොඩනැංවීමේ වැඩසටහන් 35 ක් දිවයින පුරා පවත්වා ඇත. උතුරු, නැගෙනහිර, උතුරු මැද, දකුණු, ඌව, ඊසාන, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල පැවැත්වූ මෙම වැඩසටහන් මගින් ව්‍යවසායකයින් 3,500 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිලාභ ලැබූ බව බැංකුව සඳහන් කරයි.

මෙම වැඩසටහන් සඳහා කොමර්ෂල් බැංකුවට අයත් කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක (AMFU) 14 ක් මගින් සහයෝගය ලැබුණු අතර ජනතාවගේ කෘෂි කාර්මික ක‍්‍රියාකාරකම් හෝ ක්ෂුද්‍ර ව්‍යාපාර දියුණු කිරීමේදී ඒවායේ ප‍්‍රමුඛතාවයන් හඳුනා ගැනීම සඳහා මෙම ඒකක මගින් කොමර්ෂල් බැංකුවට සහයෝගය ලබාදෙයි. මීට අමතරව, කෘෂි කාර්මික ණය සහ ක්ෂුද්‍ර මූල්‍යනයන් ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම ව්‍යවසායකයින්ට විශේෂ සහයෝගයන් ලබාදීමටත් මෙම ඒකක කටයුතු කරයි.

මෙම වැඩසටහන සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත‍්‍රික්කයේ ව්‍යවසායකත්ව ප‍්‍රවර්ධන නිළධාරී ප‍්‍රදීප් දිසානායක මහතා සහභාගී වූ අතර කොමර්ෂල් බැංකුවේ දකුණු පළාතේ කළාපීය කළමනාකරු එස්.බී. වාසල මහතා විසින් වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ ශාඛා කළමනාකරුවන් පිරිසක්ද සහභාගී විය.

කොමර්ෂල් බැංකුවේ කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක (AMFU) රත්නපුරය, නාරම්මල, මහනුවර, අනුරාධපුරය, කිලිනොච්චිය, බණ්ඩාරවෙල, වැල්ලවාය, හිඟුරක්ගොඩ, ගලේවෙල, අච්චුවේලි, වව්නියාව, කාත්තන්කුඩි, තිස්සමහාරාමය සහ නෙළුව යන ප‍්‍රදේශවල පිහිටා ඇත.

සේයාරුවෙන් දැක්වෙන්නේ මාතර පැවති කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැඩසටහනයි. මෙම වැඩසටහනට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ නිළධාරීන්ද සේයාරුවේ සිටී.