ගෘහස්ථ හා කර්මාන්ත ක්ෂේත්‍රයට සූර්ය බලශක්ති විසඳුම් ජිනසේන විසින් Featured

Published in විදුලිබල හා බලශක්ති

උසස් තාක්ෂණයෙන් යුත් සුර්ය බලශක්ති විසඳුම් දිවයින පුරා මධ්‍යස්ථාන 19 කදී

ජල කළමණාකරණ පද්ධති සහ විසඳුම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ජිනසේන පුද්ගලික සමාගම "පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය " වෙත සිය ව්‍යාපාරික මෙහෙයුම් ව්‍යාප්ත කරයි. ගෘහස්ථ සහ කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය බලශක්තිය උත්පාදනය කරගැනීම සඳහා සූර්ය බලශක්ති විසඳුම් සැපයීම ජිනසේන පුද්ගලික සමාගම විසින් ආරම්භ කර තිබේ.

සූර්ය බලශක්ති විසඳුම් සඳහා ජිනසේන සෝලාර් සොලූෂන්ස් යටතේ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 19ක් පවත්වාගෙන යයි. කොළඹ, බණ්ඩාරවෙල, බුත්තල, ගිරාඳුරුකෝට්ටේ, බේරුවල, ඒකල, අවිස්සාවේල්ල, දඹුල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල , කදුරුවෙල , තඹුත්තේගම, අනුරාධපුර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, අම්පාර, ඇඹිලිපිටිය සහ යාපනය යන ප්‍රදේශ වල මෙම මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

විදුලි බල පද්ධතිය හා බැඳුනු, විදුලි බල පද්ධතිය හා නොබැඳුනු සහ හයිබ්‍රිඩ් යන ක්‍රමවේද වලට අනුව සූර්ය බලශක්තිය සැපයීමට ජිනසේන සමාගම කටයුතු කරයි. විදුලි බල පද්ධතිය හා බැඳුනු (Grid-Tied) ක්‍රමවේදයට අනුව විදුලි බල පද්ධතිය හා සමාගාමීව සූර්ය විදුලි බල පද්ධතිය ක්‍රියා කරයි. මෙම ක්‍රමයට අනුව විදුලිය ලබාගැනීමේදී සූර්ය බලශක්තිය හා සමගාමීව සූර්ය බලශක්තිය ඔස්සේ ද විදුලිය ලබාගත හැකිය. සූර්ය විදුලි බලය අනවශ්‍ය සෑම අවස්ථාවකදීම නිපදවෙන සූර්ය බලශක්තිය ප්‍රධාන විදුලි ධාරාවට මුදාහැරීමට අවස්ථාව හිමිවෙයි. විදුලි බල පද්ධතිය හා නොබැඳුන (Off-Grid) ක්‍රමවේදයට අනුව ජාතික විදුලි බල පද්ධතියේ කිසිදු මැදිහත්වීමක් නොවන අතර 100% ක විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ සූර්ය විදුලි බල පද්ධතිය මගිනි. ඇතැම් ගොඩනැගිලි වල ඉහල විදුලි ඉල්ලුමක් සවස් කාලයේ සහ රාත්‍රියේ පවතින අතර විදුලි බල පද්ධතිය හා නොබැඳුනු (Off-Grid) ක්‍රමවේදයට අනුව බැටරියක් හෝ ජෙනරේටරයක් ආධාරයෙන් විදුලිය ගබඩා කර තබා ගැනීමක් සිදුකරයි. හයිබ්‍රිඩ් ක්‍රමවේදය විදුලි බල පද්ධතිය හා බැඳුනු (Grid-Tied) ක්‍රමවේදයේම තවත් ස්වරූපයක් වන අතර මෙහිදී වෙනස වන්නේ හයිබ්‍රිඩ් ක්‍රමවේදයේදී අතිරික්ත විදුලිය ගබඩා කර තබාගැනීම සඳහා බැටරි පද්ධතියක් ඇති අතර එම බැටරිය ප්‍රධාන විදුලි ධාරාවෙන් සහ සූර්ය බලශක්තියෙන් ආරෝපණය වීමයි. විදුලි විසන්ධි වූ ඕනෑම අවස්ථාවක බැටරියේ තැන්පත් කර ඇති විදුලිය ස්වයංක්‍රියවම හෝ මැනුවල් ක්‍රමයකට අනුව ක්‍රියාත්මක වෙයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජල කළමණාකරන පද්ධති හා විසඳුම් ක්‍රියාත්මක කරන සමාගමක් වන ජීනසේන සමාගම ජල කළමණාකරන ක්ෂේත්‍රයේ දශක ගණනාවක සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීන සේවාවක් ඉටුකිරීමට මෙන්ම පාරිභෝගික ජාලය ව්‍යාප්තකිරීම සඳහා යොදා ගනු ඇත. මෙම ප්‍රවිශ්ඨයත් සමඟ ජිනසේන වෙතින් ඕනෑම ජල ව්‍යාපෘතියක් ලබාගන්නා පාරිභෝගිකයෙකුට ඉතා පහසුවෙන් විදුලි බල පද්ධතිය හා නොබැඳුනු (Off-Grid) සූර්ය බල පද්ධතියක්ද ලබාගත හැකිවෙයි. ජල පහසුකම් සහ සූර්ය බලශක්ති පහසුකම් සඳහා වෙනම සමාගම් දෙකක සහය ලබාගන්නවා වෙනුවට එකම සමාගමකින් එම සේවාවන් සියල්ල ඉටුකරවාගැනීමට හැකිවීම පාරිභෝගිකයාට පහසුවක් වෙයි.

ජිනසේන සෝලාර් සොලූෂන්ස් විසින් සූර්ය බලශක්තිය සඳහා ලොව ප්‍රමුඛ වෙළඳ නාම වලින් යුත් නිෂ්පාදන යොදාගැනෙයි. ABB වෙළඳ නාමය යටතේ වන සියලුම ඉන්වේටර් ඉතාලියෙන් ආනයනය කෙරෙන අතර Orange (නෙදර්ලන්තය) සහ ReneSola (චීනය) යන වෙලඳ නාම වලින් යුතු සූර්ය පැනෙල ආනයනය කෙරෙයි. ඒ සඳහා නිෂ්පාදිත සමාගමෙන් වසර 5ක වගකීම් සහතිකයක් සහ ජිනසේන සමාගමෙන් වසර 10 ක වගකීමක් හිමිවෙයි. ABB ඉන්වේටර් සඳහා අදාල සමාගමෙන් වසර 5ක වගකීමේ සහතිකයක් හිමිවන අතර ජිනසේන විසින් වසර 10ක වගකීමක් හිමිවෙයි. Orange සූර්ය පැනෙල සඳහා වසර 10ක වගකීමක් එම සමාගමෙන් හිමිවන අතර වසර 20 නිෂ්පාදන වගකීමක් සහ වසර 30 ක ක්‍රියාකාරීත්ව වගකීමක් ජිනසේන විසින් පාරිභෝගිකයින් වෙත ලබාදෙයි. ReneSola සූර්ය පැනෙල සඳහා වසර 10ක නිෂ්පාදන වගකීමක් හිමිවන අතර වසර 25 ක ක්‍රියාකාරීත්ව වගකීමක් හිමිවෙයි. මීට අමතරව ජිනසේන සමාගම විසින් ස්ථාපනය කරන සහ නිර්මාණය කරන සෑම සූර්ය විදුලි පද්ධතියක් සඳහාම වසර 10ක වගකීමක් ද ලබාදෙයි.

ජිනසේන සෝලාර් සොලූෂන්ස් පිළිබඳව අදහස් දැක්වූ බලශක්ති අංශයේ ජ්‍යෙෂ්ට කළමණාකාර ජයාන් ශිරන්ත මෙන්ඩිස් මහතා සඳහන් කළේ ජාත්‍යන්තරය සඳහා නිෂ්පාදන සිදුකරන මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ බොහෝ කම්හල් වල කාබන් දහනය අවම කිරීම සඳහා විසඳුම් සපයමින් ජිනසේන සමාගම විසින් ගෘහස්ථ සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා සූර්ය බලශක්ති විසඳුම් ඉදිරිපත් කරන බවයි. ජාත්‍යන්තර අවශ්‍යතාවට සරිලන ආකාරයට කාබන් දහනය අවම කරමින් කර්මාන්ත පවත්වාගෙන යාමට මෙමඟින් අවස්ථාව හිමිවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. සූර්ය බලශක්ති වතුර පොම්ප සඳහාද බොහෝ විමර්ශන සිදුකර ඇති බව හෙතෙම සඳහන් කලේය. ශ්‍රී ලාංකේය ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛ තැනක් හිමිවන බවත්, කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන වතුර පොම්ප ක්‍රියාත්මක කරවීම සඳහා සූර්ය බලශක්තිය යොදාගැනීම පිළිබඳව ගොවීන් උනන්දු කරවීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම සූර්ය බලශක්ති පද්ධති බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ට කළමණාකාර ජයාන් ශිරන්ත මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා මධ්‍යස්ථාන 19 ක් මගින් සූර්ය බලශක්ති පද්ධති බෙදාහැරීමට කටයුතු කරන බවයි. මේ සඳහා දිවයින පුරා විහිදුනු පුළුල්තම මධ්‍යස්ථාන ජාලයක් ජිනසේන සමාගම සතු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සූර්ය බලශක්ති පද්ධතියක් පිළිබදව පාරිභෝගික විමසීමකදී කඩිනමින් ක්‍රියාත්මක බව සිය කණ්ඩායම අදාල ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවක් සිදුකරන අතර එම ස්ථානයේ ඡායාරූප සහ අවශ්‍ය තොරතුරු ලබාගෙන ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරයි. තරඟකාරී වෙළඳ පලේ පවතින මිල ගණන් වලට සාපේක්ෂව සාධාරණ මිල ගණන් තම සමාගමට ඉදිරිපත් කළ හැකි බවට විශ්වාසයක් පවතින බව හෙතෙම සඳහන් කළේය.

වර්ෂ 1905 දී ආරම්භ කළ ජීනසේන සමාගම ශ්‍රී ලංකික හිමිකාරීත්වයකින් යුතු ප්‍රථම ඉංජිනේරු සමාගමයි.වර්ෂ 1932 දී ජිනසේන සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු සමාගම් 5 අතරට එක්විය. වර්ෂ 1950 දී මෙම සමාගමේ සමාරම්භක හිමිකරු ටී. එස් ජිනසේන මහතාගේ පුත්‍රයා විසින් ප්‍රථම ජිනසේන සෙන්ට්‍රික් වතුර පොම්පය නිපදවන ලදී. එතැන් පටන් මේ වන තෙක් ශ්‍රී ලංකාවේදී සම්පූර්ණයෙන් නිපදවන එකම වතුර පොම්පය වන්නේ ජිනසේන සෙට්‍රික් වතුර පොම්පයයි. ශක්තිමත් නිමාවකින් යුක්ත වීම, දීර්ඝ කාලයක් භාවිත කිරීමට හැකිවීම , අවශ්‍ය තරම් අමතර කොටස් මෙන්ම අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව යනාදී කරුණු හේතුවෙන් ශ්‍රී ලාංකේය වෙළඳ පල තුල ස්ථාවර වීමට ජිනසේන වතුර පොම්පයට හැකිව තිබේ. ජිනසේන සමාගම වතුර පොම්ප විසඳුම්, වාරිමාර්ග විසඳුම්, ජලය පිරිසිදු කිරීමේ විසඳුම්, ආදියද සපයයි. මේ අනුව ජිනසේන සමාගම සියලුම ජල කළමණාකරන විසඳුම් එකම වහලක් යටදී ලබාගත හැකි සමාගම් කිහිපයෙන් එකක් වන අතර මේ වනවිට පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහ කෘෂි යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයටද පිවිස සිටින්නේ "හැකියාවන් රැසකින් සමන්විත එක් විශ්වසනීය නාමයක් " යන්න තේමා කරගනිමිනි.