Huawei හි ශ්‍රී ලාංකේය වෙළඳපළ 30% ඉක්මවයි. - Gfk වාර්තා හෙළිකරයි. Featured

Published in විදුලිසංදේශ
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei වෙළඳ පල සමීක්ෂණ හා පාරිභෝගික අදහස් සමීක්ෂණයේ ප්‍රවීණයින් වන Gfk හි වාර්තාවට අනුව තුන්වන කාර්තුව සඳහා සිය ‍වෙළඳ පළ කොටස 30% ඉක්මවා තිබේ. වර්තමානයේදී Huawei ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවේ අංක දෙක හිමිකරගෙන සිටියි. Huawei හි උසස් තාක්ෂණය, නවීනත්වය, සහයෝගීත්වය මෙන්ම ප්‍රමුඛතම තාක්ෂණික නිමැවුම් සිය පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මෙම සාර්ථකත්වය අත් කර ගෙන සිටියි. නවීන තාක්ෂණයේ අනාගත මඟ පෙන්වීම් සහ ක්ෂේත්‍රයේ නිපුන සහකරුවන් හා සම්බන්ධ වෙමින් උසස් තාක්ෂණය සිය පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට Huawei හි මැදිහත්වීම මත විවිධ උසස් පහසුකම් සහිත ස්මාර්ට්ෆෝනයක් සිය පාරිභෝගිකයා වෙත තිළිණ කිරීමට හැකි වී තිබේ.

ඉලක්ක සපුරාලීම පිළිබඳව අදහස් දක්වමින් Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ, මෙම වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකේය ස්මාර්ට්ෆෝන් වෙළඳ පළින් 28% ක ප්‍රතිශතයක් Huawei විසින් අත්කරගෙන සිටි බවයි. නමුත් තුන්වන කාර්තුව අවසන් වන විට එම ප්‍රමාණය Gfk වාර්තාවට අනුව 30% දක්වා වර්ධනය වී ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.මේ අනුව නුදුරේදීම මෙරට අංක 01 ස්මාර්ට්ෆෝනය බවට පත්වීමට හැකිවනු ඇති බවට පැහැදිලි විශ්වාසයක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන් පර්යේෂණ සහ සංවර්ධන කාර්යය සඳහා Huawei විසින් විශාල ලෙස ආයෝජනය කිරීම සහ ප්‍රමුඛත්වය ලබාදීමේ ක්‍රමෝපාය සැලස්මේ ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

Huawei විසින් මූලික පරාසයේ, මාධ්‍ය පරාසයේ සහ උසස් පරාසයේ ස්මාර්ට්ෆෝන් පෙළක්ම මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දී තිබේ. Huawei Y3II 4G, Y5II 4G, Y6II 4G යන ස්මාර්ට්ෆෝන් මූලික පරාසයේ ස්මාර්ට්ෆෝන් වන අතර, Huawei GR5, GR5 Mini, P9 Lite යන මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන් මෙන්ම Huawei Mate 8 සහ P9 යන ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් සඳහා මෙරට ඉහළ ඉල්ලුමක් පවතී. ශ්‍රී ලාංකිකයින් ස්මාර්ට්ෆෝනය සිය දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකන අතර පසුගිය ජුනි මාසයේ Huawei විසින් හඳුන්වා දුන් නවීනතම P9 ස්මාර්ට්ෆෝනය මෙරටට ගෙන්වූ පළමු තොගය සතියක් තුළ අලෙවි වී අවසන් වීමද සුවිශේෂී තත්වයකි.

මෙම වසරේදී තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් දිවයිනේ ස්ථාන රැසක Huaweiමධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කිරීම මඟින්ද සිය පාරිභෝගිකයා වෙත වඩා සමීප සේවාවක් සැපයීමට Huawei කටයුතු කර තිබේ. දිවයිනේ තෝරාගත් ස්ථාන කිහිපයක මේ වනවිට Huawei මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර මෙම මධ්‍යස්ථාන වලදී Huawei ස්මාර්ට්ෆෝන් පිළිබඳ පුළුල් අත්දැකීමක් ලබාගැනීමට පාරිභෝගිකයාට සියලු පහසුකම් සපයා තිබේ. 2016 වසර අවසන් වීමට පෙර Huawei හි මීළඟ මධ්‍යස්ථානය මහනුවරදී පිහිටුවීමට සැලසුම් කර තිබේ.

වටිනාකමින් වැඩි, නවීනතම නිපැයුම් සහ සේවා පාරිභෝගිකයා වෙත තිළිණ කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩවම ඉදිරියට ගෙන යන Huawei 2016 වසරේ Brand Finance වාර්තා අනුව මේ වනවිට ලොව ප්‍රමුඛතම සන්නාම 100 අතර 47 වන ස්ථානයට පත්ව සිටියි. Interbrand හි හොඳම ජාත්‍යන්තර වෙළඳ නාම අතර 72 වන ස්ථානයට පත්වීමටද Huawei සමත්වී තිබේ.